recent posts

Banner-3

ස්ත්‍රී දූෂණ ගැන කතාවක්.



මේ පහල තියෙන ෆොටෝ එක බලන්න ටිකක්. ඒකේ ඉන්නේ කෙලී හෙරෝන්. එයා ඔය ඇමරිකාවේ වොෂින්ටන් වල සියැටල් කියන ටවුන් එක පැත්තේ ජීවත් වෙන කෙනෙක්. එයා ඇදගෙන ඉන්න ටී ෂර්ට් එක දිහා පොඩ්ඩක් බලන්න. ඒකේ තියනවා Not today motherfucker කියලා...ඒ වගේම තියෙනවා එහෙට මෙහෙට ඇදුනු නිල් පාට ඉරි ගොඩාක්. ඔය Not today motherfucker කියලා තියෙන්නේ සියැටල්වල පොදු විවේකාගාරයක් ඇතුලේදි තමන්ව දූෂණය කරන්න උත්සාහ කරපු ස්ත්‍රී දූෂකයකේට පහරදීලා එතනැනි පැනගෙන බේරිලා යන්න කලින් කෙලී ඒ මිනිහට කියපු වචන. කෙලී ඒ වෙලාවේ ජොගින් කරන්න ගිහින් හිටියේ. එයා අර ස්ත්‍රි දූෂකයගෙන් බේරිලා පැනලා යන්න එහෙ මෙහෙ දුවද්දි ඒක එයාගේ අතේ බැදගෙන තිබුන GPS tracker එකේ සටහන් වුන විදිය තමයි ඔය නිල් පාට ඉරිවලින් තියෙන්නේ. 


මේ කියන සිද්ධියට කෙලී මුහුණ දුන්නේ 2017 අවුරුද්දේ මාර්තු මාසයේ දවසක. එදා හවස 1 ට විතර සියැටල්වල මුහුදු වෙරලක තමන්ගේ දෛනික ව්‍යායාමවල නිරත වෙලා හිටිය කෙලී පොඩි විරාමයකටත් එක්ක මුහුදු වෙරලේ පැත්තක තිබුණ පොදු විවේකාගාරයකට යනවා. විවේකාගාරය ඇතුලේ වතුර සින්ක් එකක් ලග තමන්ගේ දෑත් සෝදමින් සිටිය කෙලී කියනවා එක පාරටම එයාට  “මොකක් හරි භයානක දෙයක් වෙන්න යනවා වගේ හැගීමක් ඇතිවුනා” කියලා.  එයා හැරිලා බලද්දි දකින්නේ අපිරිසිදු මිනිහෙක් තමන්ගේ ලගට වෙලා තමන් දිහාවෙම බලාගෙන ඉන්න විදිය. 


“මට ඒක පාරටම හිතාගන්න බැරිවුනා මේ වෙන්නේ මොනවද කියලා. ඒ මිනිහා හිගන්නෙක්..මට ඒ මිනිහාගේ ලගින් එන අපිරිසිදු ගද දැනුනා..ඊලග මොහොත් මට තේරුණා වෙන්න යන දේවල්වල භයානක කම”


එක වරම කෙලී දිහාවට පනින මේ මිනිහා ඊලග තප්පරේදි කෙලීව බිම පෙරල ගන්නවා. තමන්ට වෙන්න යන අතෝරයෙන් නිදහස් වෙන්න උත්සාහ කරන කෙලී තමන්ගේ වැලමිට දෙක පොලවට තද කරලා ඉස්සිලා ඒ මිනිහට පහර දෙන්න උත්සාහ කරනවා..ඒත් ඒකෙන් ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ඊලග මොහොතෙදි කෙලී හිතන්න පටන් ගන්නවා...ඊට සති කිහිපයකට කලින් තමන් සහභාගීවුන ආත්මාරක්ෂක සටන් ක්‍රම ගැන පුහුණුවෙදි ඉගෙන ගත්ත දේවල් කෙලිගේ මතකයට එනවා. ඒ පුහුණුව එක එයාගේ ඔෆිස් එකෙන් ලබාදීලා තිබුණ පුහුණුවක්. 

එයා ඒ ආත්මාරක්ෂක සටන් පුහුණුවෙදි ඉගෙන ගත්ත දෙයක් තමයි...මේ වගේ වෙලාවක තේරුමක් නැතිව කරන කෑගැසීම්, තමන්ට යන්න දෙන්න වගේ ඉල්ලීම් කරමින් හඩා වැලපීම්, අපරාධකරුවාව හැපීම හෝ සීරීම වගේ දේවල් එච්චර තේරුමක් නැහැ කියන එක. ඒවයෙන් වෙන්නේ අපරාධකරුවාව එක්තරා විදියකට තමන්ගේ ගොදුරට තව තවත් ආශක්ත කරවීම. ඒ වෙනුවට මේ වගේ අපරාධයකට ලක් වෙන කෙනෙක් ආත්මාරක්ෂාව වෙනුවෙන් කරන්න ඕන පැහැදිලි තර්ජන කරන එක සහ තෝරාගත්ත ස්ථාන කිහිපයකට හොදට හිතලා බලලා පහර දීම් කිහිපයක් කරන එක. කෙලී කියනවා “එතකොට අපරාධකාරයා හිතනවා මේක ලේසි වෙන්නේ නෑ...” කියලා. ඕනෑම ස්ත්‍රි දූෂකයයෙක් තෝරගන්නේ තමන්ට පහසුවෙන් යටත් කරගන්න පුලුවන් කියලා හිතන, දුර්වලයි කියලා හිතන ගැහැණුන්ව. වටෙන් පිටෙන් උදව්වක් නැති කෙනෙක්ව. ඒකයි ස්ත්‍රි දූෂණ පාලු තැන්වල හෝ ගෙදර වෙන කවුරුවත් නැති වෙලාවලට කරන්නේ. ඒ වෙලාවට ගැහැණිය පහසුවෙන් අන්තරයාට ගොදුරුවිය හැකි නිසා - ගැහැණිය vulnerable ඒ වගේ වෙලාවට. ඔන්න ඔය සිතිමේ ප්‍රතිඵලයක් විදියට තමයි කෙලී Not today motherfucker කියලා තර්ජනාත්මකව අර මිනිහට කියන්නේ. “එහෙම කියලා මම ඊට පස්සේ ඒ මිනිහා එක්ක සටන් කරන්න පටන් ගත්තා”.


කෙලී මුලින්ම කරන්නේ ස්ත්‍රී දූෂකයාගේ මුහුණ ඇතුලට නියපොතු කාවදින විදියට ඔහුගේ මුහුණ තදින් අල්ලන එක. මේක ස්ත්‍රි දූෂණයකට ලක් වෙන ගැහැණියකට පහසුවෙන් ලගා වෙන්න පුලුවන් ඉලක්කයක්. නිය පොතු පාවිච්චි කරලා වැඩි අමාරුවකින් තොරව ලොකු හානියක් අපරාධකාරයට කරන්නත් පුලුවන්. වඩාත්ම සාර්ථක අපරාධකරුවගේ ඇස්වලට ලගින් හෝ ඇස්වලටම මේ වගේ දෙයක් කරනවානම්. මේ වගේ දෙයකින් ගැලවෙන්න නම් අපරාධකාරයා තමන්ගේ මුහුණ වේගෙන් සොලවලා ඉවතට ගන්න ඕන..ඒකේ ප්‍රතිඵලයක් විදියට අපරාධකාරයාගේ ග්‍රහණය ලිහිල් වෙන්නත් කාන්තාවට ගැලවෙන්න අවස්ථාවක් ඇතිවෙන්නත් පුලුවන්. “මේ වගේ වෙලාවක අපරාධකාරයාගෙන් ගැලවෙන්න බොක්සින් තරගයකදි වගේ දරුණු පහරවල් එක දිගට ගහන්න ඕන නෑ. කරන්න ඕන වේදනාව වැඩියෙන් දැනෙන තැන් කිහිපයකට හොදට හිතලා බලලා සුදුසු වෙලාව ආවම අපරාධකාරයගේ ඇගේ මෘදු තැන්වලට පුලුවන් උපරිමයෙන් ඔයාගේ ඇගේ අස්ථිමය තැන්වලින් ගහන එක. ඒ නිසා මම ඊලගට කරේ මගේ වැලමිට පැත්තෙන් ඒ මිනිහගේ මුහුණට ගහන එක. ඊලගට මම මගේ දණහිස නවලා අරගෙන ඒ මිනිහාගේ යටි බඩට වේගෙන් ගැහුවා. ඒක ඇත්තටම හරිගියා..” කෙලී එහෙම කියනවා. ඒත් ඊලග මොහොතෙදි අපරාධකාරයා මිට මොලවලා කෙලීගේ මුහුණට පහරක් එල්ල කරනවා. පහර එල්ලවෙන්නේ කෙලීගේ වම් ඇසට ඉහලින්..මේ පහරේ තියෙන තදබල බව නිසාම කෙලීට තේරෙනවා තමන් සිහිමද තත්ත්වයට පත්වෙනවා කියලා. ඊලගට අපරාධකාරයා විවේකාගාරය ඇතුලේ තියෙන වැසිකිලි කුටියක් ඇතුලට කෙලීව ඇදගෙන යනවා. 


“මෙන්න මේ වෙලාව තමයි වැදගත්ම. ගොඩාක් වෙලාවට ස්ත්‍රි දූෂණයකදි ගැහැණිය මුලින් විරෝධතා දක්වනවා. ඒත් ටික වෙලාවකින් තමන්ට වෙන පහරදීම් ආදිය නිසා එයාගේ ශක්තිය නැති වෙලා ගිහින් තවදුරටත් මොකුත් කරගන්න බැරිවෙනවා. අතපය දුර්වල වෙනවා. එතනදි තමයි අපරාධකාරයා දිනන්නේ. මම ඒ වෙලාවේ මගේ හිත ඇතුලෙන්ම කෑ ගහලා මාව ධෛර්යමත් කරා. නැගිටින්න කෙලී...තව ටිකයි කියලා මගේ හිත කෑ ගහනවා මට ඇහුනා. ඒක හරියට ගොඩාක් වෙලා ජොගින් කරලා අන්තිම විනාඩි කිහිපය ගොඩාක් මහන්සි දැනෙන අවස්ථාවක් වගේ. වැඩේ අතහැරලා නවතින්න අපිට හිතෙනවා. ඒත් අපේ යටි හිත අපිට කෑගහනවා තව ටිකයි ඒ ටිකත් දුවන්න කියලා. අන්න ඒ වෙලාවට හිතට එනවා ලොකු ශක්තියක්.”


මේ කියන ශක්තිය ඇගට ගන්න කෙලී ඊලග මොහොත් අපරාධකරුවගේ ග්‍රහණයෙන් ලිස්සලා යනවා. එයා කියනවා “මම ඇදගෙන හිටියේ ජොගින්වලට සුදුසු ඇදුමක් නිසා මට සර්පයෙක් වගේ මිනිහගේ කකුල් අතරින් ලිස්සලා යන්න පුලුවන් වුනා. නැත්නම් සාමාන්‍යයෙන් මේ වගේ වෙලාවට වෙන්නේ අපේ ඇදුම් අපිට විරුද්ධව යන එක”. එහෙම අපාරාධකාරයාගේ ග්‍රහණයෙන් බෙරන කෙලී තමන්ගේ ඇගේ මුලු ශක්තියම පාවිච්චි කරලා වැසිකිලි දොරත් වේගයෙන් තල්ලුකරගෙන ඒක ඇරලා එලියට පැනගන්නවා. අපාරාධකාරයා තමන්ගේ පස්සෙන් පන්නද්දි ඒ මිනිහාගෙන් ගැලවෙන්න විවේකාගාරය ඇතුලේ එහෙට මෙහෙට දුවන කෙලී අන්තිමට විවේකාගාරයේ දොර දිහාටව දුවමින් පුලුවන් උපරිමයෙන් සහ පැහැදිලිව “උදව් කරන්න” කියලා කෑගහනවා. කෙලීගේ වාසනාවට සහ ඇයගේ නිර්භිතකමේ ප්‍රතිඵලයක් විදියට මේ උදව් ඉල්ලලා කරන කැගැහීම ඇහෙනවා ඒ වෙලාවේ එතනින් යමින් සිටිය ජොගින් කරන්න ආපු තවත් මහත්තයෙක්ට. මේ පුද්ගලයගෙත් උදව් ඇතිව අපරාධකරු එලියට පැනගන්න කලින් විවේකාගාරයේ දොර වහන කෙලි ඉන් අනතුරුව පොලීසියට කතා කරලා තමන්ට සිද්දවුන අතෝරය ගැන දැනුම් දෙනවා. 


ස්ත්‍රී දූෂණයක් වගේ අවස්ථාවක ආත්මාරක්ෂාවේ ගැන කතා කරන්න මම ගොඩාක් ලොකුවට ඒ සම්බන්ධයෙන් ඉගෙන ගෙන තියෙන කෙනෙක් නෙවෙයි. ඒත් ඒවගේ පුහුණුවකට ගිහින් මම ලබපු අත්දැකීම් කිහිපයක් මෙතන සදහන් කරන්නම්. 


ආත්මාරක්ෂාවේ වැදගත්ම දේ තමයි ගැහැණුන් තමන් අවට සිදුවන දේ ගැන අවධානයෙන් ඉන්න ඕන කියන එක. මේකෙන් අදහස් වෙන්නේ නැහැ ගැහැණු හැම වෙලාවෙම බයෙන් ඉන්න ඕන කියලා. ඒකෙන් කියන්නේ හුදෙකලා තැනක ඉන්නකොට තමන් අවට සිදුවන දේ ගැන කල්පනාවෙන් ඉන්න. දැන් බලන්න උඩ කතාවේ කෙලී කියනවා එක පාරටම එයාට නිකන් අමුත්තක් දැනිලා හැරිලා බැලුවා, ඒ බලද්දි අර මිනිහා ලගටම ඇවිත් කියලා. නිකමට හිතන්න...කෙලී එහෙම සිහියක් නැතිව තමන්ගේ පාඩුවේ වැඩේ කරගෙන ඉදිද්දි අර මිනිහා ඇවිත් කෙලීට කෑගහන්න බැරි විදියට කට වහගත්තා නම්? එහෙනම් කෙලීට සටන් කරන්න තියෙන අවස්ථාව නැතිවෙලා සමහර විට කතාව මීට වඩා වෙනස් වෙයි නේද? බොහෝ විට ස්ත්‍රී දූෂණයක් වෙන්න කලින් අපරාධකාරයා සැලකිය යුතු කාලයක් තමන්ගේ ගොදුර නිරීක්ෂණය කරනවා. බෝහෝ විට ස්ත්‍රී දූෂකයෝ තමන් කැමති ගැහැණියක් ගෙදරින් පිටවෙන වෙලාව, වැඩ ඇරිලා ගෙදර එන වෙලාව, ඒ එන්නේ තනියමද වගේ දේවල් දවස් කිහිපයක් තිස්සේ හොයනවා. ඒ කියන්නේ ඔයා තමන් අවට ඉන්න මිනිස්සු ගැන හිතේ track record එකක් වගේ දෙයක් තියාගෙන ඉන්න එක වැදගත්. 


ආත්මාරක්ෂාව සම්බන්ධයෙන් තියෙන ඊලග වැදග්තම දේ තමයි සටන් උපක්‍රම. සටන් උපක්‍රම කිව්වාම අපිට බෲස්ලි හරි ජැකී චෑන් වගේ හරි පරතෙටට කරාටේ අනන් මනන් ඉගෙන ගන්න බැහැනේ. ඒ නිසා මේ වගේ වෙලාවට සටන් උපක්‍රමවල තියෙන වැදගත්ම දේවල් තුනක් තියෙනවා. ඒ තමයි පහරදීම, පැහැදිලිව සහ තර්ජනාත්මකව විරෝධය දැක්වීම, සහ හුස්ම ගැනීම කියන දේ. පහරදීම කියන දේ දිගට හරහට කරන්න ඕන දෙයක් නෙවෙයි. සතුරාට ලොකු වේදනාවක් ඇති වෙන...මේ ගැනිව මෙල්ල කරගන්න එක තේරුමක් නැති දෙයක් / ලේසි නැති දෙයක් කියලා ඒ යකාට හිතෙන විදියේ පහරවල් කිහිපයක් එල්ල කරන්නයි ඕන. මතක තියාගන්න Hard bones to soft fleshy places කියන දේ. ඒ කියන්නේ ඔයාගේ වැලවිමට දණහිස වගේ අස්ථිමය තැන්වලින් ඒ මිනිහගේ මෘදු මාංශ පේශි තියෙන තැන්වලට ගහන්න. අනිත් එක පහරදීම කියන දේ වචනාර්ථයෙන්ම වෙන්න ඕන නෑ - ඒ කියන්නෙ අතින් කරන පන්ච් එකක් හෝ කකුලෙන් කරන කික් එකක්ම වෙන්න ඕන නෑ. හොදම දේ කෙලී කරා වගේ මුහුණට නියපොතු ගහන එක (clawing). නැත්නම් වැලමිටෙන් මුහුණට හෝ තොල්වලට ගහන එක. ඒත් නැත්නම් දණ හිසෙන් යටි බඩට ගහන එක. බුදු අම්මෝ කියාගෙන අඩාගෙන වැටෙයි හොදට ඉලක්කේ බලලා ඇට දෙක කුඩු වෙලා යන්න දණ හිසෙන් ගැහුවොත් - ඔන්න සරල සිංහලෙන්ම කිව්වා. 


පැහැදිලිව සහ තර්ජනාත්මකව විරෝධය පල කරන්න. ඔය ශෂී කපූර් එහෙම ඉන්න පරන හින්දි චිත්‍රපටි බලන අය දන්නවා ඇති චොරෝ මුජේ...ජානේ දෝ මුජේ කියලා කදුලුයි හොටුයි පෙරාගෙන සාරි පට අල්ලගෙන මධුරි ඩික්සිත් කෑ ගහද්දි දුෂ්ඨයා මහ හයියෙන් කැත වලත්ත හිනාවක් දාලා තමන්ගේ වැඩේ තව වේගවත් කරනවා. එහෙම අඩන්නයි වැලපෙන්නයි ගියාම බොහෝ වෙලාවට ඒක ස්ත්‍රී දූෂකයාට උත්තේජකයක්. ස්ත්‍රී දූෂකයන්ගේ සයිකොලොජි එක මෙහෙමයි - බොහෝ විට එයා මේ වැඩේ කරන්න එයාට සෙක්ස් ඕන නිසාම නෙවෙයි - ගැහැණුන් යටත් කරගැනීමේ පීඩක ආශාව නිසා. නැත්නම් එතන තියෙන්නේ ගැහැණුන් ගැන - විශේෂයෙන් තමන්ට වඩා උඩින් ඉන්නවා කියලා පේන ගැහැණු ගැන තියෙන වෛරය. ඉතින් ඔයා අඩන්න අඩන්න එයාට ආතල්. ඒ වෙනුවට කෙලී කරා වගේ Not today motherfucker කියලම කරන්න. 


වැදගත්ම කාරණය තමයි හොදට හුස්ම ගන්න. මේක සටනක්. ඔයා ටික වෙලාවක් යද්දි දුර්වල වෙලා ඒ මිනිහට යටත් වෙන්න තියෙන ඉඩ ගොඩාක් වැඩියි - ඒක අවාසනාවන්ත දෙයක්, ඒත් ඇත්ත ඒක. මේ වෙලාවේ හොදට හිතන එකත් ඔලුව හොදට වැඩ කරන එකත් වැදගත්. ඒ නිසා හොදින් හුස්ම ගන්න, හුස්ම ගන්න අතරේ පැහැදිලිව හිතන්න. ඒක උඩ තමයි ඔයාගේ ආරක්ෂාව තීරණය වෙන්නේ. තමන්ට සිදුවෙන මේ කරදරය ආරම්භයේදිම දුර්වල වෙලා, ඉවක් බවක් නිවැරදිව සිතීමක් නැතිව ඒකට විරුද්ධව සටන් කරන්න ගියොත් වෙන්නේ ඉක්මනින්ම ඔයාගේ ශක්තිය නැතිවීම. අනිත් එක මේ විදියට හුස්ම ගන්න ගියාම ඔයාට අවට පරිසරය පැහැදිලිව පේන්නත් ඒ පරිසරයේ තියෙන තමන්ට මේ කරදරයෙන් ගැලවෙන්න උදව් කරගන්න පුලුවන් දේවලුත් පේන්න ගන්නවා. මතක තියාගන්න අපේ පරිසරයේ හැම වෙලාවේම ඒ වගේ දේවල් තියෙනවා. උදාහරණයක් විදියට අත දිග හරියේ තියෙන්න පුලුවන් තරමක් විශාල ගලක් හෝ පොලු කෑල්ලක්. නැත්නම් තමන් කොන්ඩේ ගහගෙන ආපු beak clip එක ඇදලා අරගෙන අනින්න පුලුවන්. ඔය මොකුත් නැතත් බිම තියෙන වැලි ටික අරගෙන ඇස් දෙකට ගහන්න පුලුවන්. මේ මොනවා කරන්නත් ඔයා හුස්ම ගනිමින් නිවැරදිව හිතන්න ඕන. 


මේ පෝස්ට් එක සෘජුවම ලිංගිකත්වයට අදාළ එකක් නම් නෙවෙයි. ඒත් මම හිතනවා මගේ පේජ් එක කියවන ලංකාවේ තරුණියන්ටත්, ගැහැණුන්ගේ ආත්ම ගරුත්වය සහ ආරක්ෂාව වෙනුවෙන් හැම වෙලේම පෙනී ඉන්න මහත්මා ගුණ තියෙන පිරිමින්ටත් මේ ලිපිය ගොඩාක් වැදගත් වෙයි කියලා. 


මම මාධවී. මේ මගේ bedroom talks

Image credit: Reddit


ස්ත්‍රී දූෂණ ගැන කතාවක්. ස්ත්‍රී දූෂණ ගැන කතාවක්. Reviewed by Madhavi's Bedroom Talks on February 21, 2021 Rating: 5

No comments:

Powered by Blogger.